සෙසු පක්ෂ නියෝජිතයා ලෙසින් ව්‍යවස්ථා දායක සභාවට පත් කළ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ ව්‍යවස්ථානුකූල නොවන පත්වීම වහාම අහෝසි නොකළහොත් ජනාධිපති, අගමැති සහ කථානායකවරයාට එරෙහිව අධිකරණය හමුවට යන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ඊයේ (01) දින පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා එසේ පැවසීය. ව්‍යවස්ථානුකූල ලෙස සෙසු පක්ෂ නියෝජිතයා පත් කිරීමේ ක්‍රමවේදය මෙහිදී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කොට ඇති බවත් 19
සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකයා අයත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනතා විමුක්ති පෙරමුණ, ඊ.පී.ඩී.පී. සහ මුස්ලිම් කොංග්‍රසයට අයත් මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් මෙම පත්වීම කළ යුතු වුවත් එම පත්වීම පිළිබඳ බොහෝ මන්ත්‍රීවරුන් දැන ගත්තේ
මාධ්‍යයෙන් බවද ඔහු සඳහන් කළේය. බහුතර ඡන්දයෙන් මෙම පත්වීම සිදුවිය යුතු බවත් එය ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා පැවසුවේ නිසි ක්‍රමවේදයට යමින් විජිත හේරත් මන්ත්‍රීවරයා වුව ඊට පත්වීම ගැටලුවක් නොවන බවයි. මෙම පත්වීම ප්රජාතන්ත්රවාදය මෙන්ම රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බැවින් එය නිවැරදි නොකළහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය හමුවට යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දීපා වසන්ති එදිරිසිංහ