ශවේන්ද්‍ර සහ මහේෂ් හමුදාවේ තවත් ඉහලට!
Published on April 1 2017
මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා
උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ බරපතල ලෙස මානව හිමිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටින සේනාවකට අණ දුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව විධායක ජෙනරාල් ධුරයට පත් කර තිබේ.
විධායක ජෙනරාල් කාර්යාලයේදී 30 බ්‍රහස්පතින්දා ඔහු වැඩ භාර ගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ඒ අනුව මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා යුද හමුදාවේ 28 වන විධායක ජෙනරාල් වේ.
නිල ලේඛණවලට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී මේජර් ජෙනරාල් සිල්වා සංකේතාත්මකව රාජකාරි භාර ගැනීම සිදු කළ අතර, නිලධාරීන් කිහිපදෙනෙක් ද එම අවස්ථාවට එක්වු බව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.
සත් වසරකට ඉහත දී යුද හමුදාවට බාර වූ හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ට අත් වූ ඉරණම විමසීම සඳහා ඔවුන් බාරගත් සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන්වීමට අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට 30 බ්‍රහස්පතින්දා රජය විරුද්ධ විය.
සුදු කොඩි සහ 58
යූද්ධාවසනයේ දී සුදු කොඩි ඔසවාගෙන පැමිණ ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරවූ පිරිසක් 58 වැනි සේනාංකයට එවක අණදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් භාරගන්නා අයුරු ඇසින් දුටු සාක්ෂි ඇති බව 2013 දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළිදැක්වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිනි.
ඒ භාරවුවන් අතර විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් සිටි බව දේශීය හා ජාත්‍යන්තර කොමිසම් විසින් වාර්තා කොට ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ 2009 මැයි 18 වැනිදා නඩේසන් හා පුලිදේවන් 58 සේනාංකය විසින් මරාදමන ලද බවය.
ආරක්ෂාව පිලිබඳ රජයෙන් සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක
ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පැවැත්විය යුත්තේ අන්තර්ජාතික පරීක්ෂණයක් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.
වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය නිසාය.
ඔහු ඇතුලු වන්නියේ ප්‍රහාරක සේනාංක භාරව සිටි යුද සෙන්පතියන් පිරිසක් අනාගත ආරක්ෂාව පතා රහසේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී ඉල්ලා සිටි සේවා දිගුවක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා 2015 අගදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
නව මාණ්ඩලික ප්‍රධානි
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 29 බදාදා උදෑසන යුද හමුදා මුලස්ථාන සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගෙන තිබුණි.
ඒ අනුව, 1949 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්වු බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ඔහු නිලලේඛණවලට අත්සන් තබමින් සංකේතාත්මකව සිය රාජකාරි භාර ගත් අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත මෙන්ම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව ඇත.
පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කුරුණෑගල දී දැඩි ලෙස කියා සිටියේ උතුරේ යුද මෙහෙයුම් සඳහා දායක වූ හමුදා නිලධාරීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර බලවතුන්ගේ ද අනුග්‍රහය ඇතිව තමන් කැප වන බවයි.
/image%2F1796264%2F20220922%2Fob_7c6c36_3nbqqbo1-400x400.jpg)

