වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග!

Published on September 24 2021

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග!

කොළඹ: වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අද (24) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වූ අතර, අග්‍රාමාත්‍යවරයා එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය සිදුකර ඇත.

එමෙන්ම එලෙස නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත බෙදාහැරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

මෙරටට ආනයනය කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 800ක් පමණ දින 12ක් කාලයක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසා තිබුණි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම මෙම භාණ්ඩ කන්ටේනර් වරායේ ගොඩගැසීමට හේතුව බවය.

පරිප්පු, කඩල, හාල්මැස්සන්, වියළි මිරිස්, සුදු ලූනු, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, උළුහාල් ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක් මෙලෙස ගොඩගැසී ඇත.

මේ අතර කිරිපිටි, ගෑස්, සිමෙන්ති යන භාණ්ඩවල මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද අද (24) පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදී අවධානය යොමුව තිබුණි.

අදාළ මිල සංශෝධනයන් ලබන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

Written by lankatime

Repost0
To be informed of the latest articles, subscribe:
Comment on this post